සමාජ මාධ්‍ය
බලපෑම
(Facebook සමාජ මාධ්‍යයේ
බලපෑම)
හැඳින්වීම
“සමාජ මාධ්‍ය යනු අන්තර්ජාලය භාවිතා කරමින් වචන, ඡායාරූප, වීඩියෝ හා ශ්‍රව්‍ය ආදී බහු මාධ්‍ය භාවිතා කරමින් මිනිසුන්
නිදහසේ එකිනෙකා සමග අන්තර් සබඳතා පවත්වන, එකිනෙකා සමග ඔවුන්ගේ ජීවිත සම්බන්ධව තොරතුරු සාකච්ඡා කරන බෙදා
හරින අවකාශයකි.”
(Curtis-2013)
ඉහත නිර්වචනය සමාජ මාධ්‍ය පිළිබඳව වඩාත් හොඳ අදහසක් ලබා දෙන්නා සේම එකී
සමාජ මාධ්‍ය අතර Facebook, Youtube, Twitter, Instagram ආදී බොහොමයක් පවතී. මෙකී සමාජ
මාධ්‍ය පිළිබඳ විමසා බැලීමේදී අද වන විට ලොකු කුඩා බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වටා
ඒකරාශී වී සිටින ආකාරයක් මෙන්ම එබැවින් ඒ තුළින් කෙරෙන බලපෑම ඉහළ ගොස් තිබෙන
ආකාරයක්ද හඳුනාගත හැකිය. එනම්, ඕනෑම දෙයක යහපත් හා අයහපත් වශයෙන් අංශ 2ක් හඳුනාගත හැකිය. වර්තමානය තුළ ලෝකයේ වඩාත් ප්‍රචලිත
මාධ්‍යක් වන සමාජ මාධ්‍ය සඳහාද මෙම යහපත් අයහපත් යන ධර්මතාවය පොදුය. එහි යහපත් හෝ
අයහපත් බව තීරණය වන්නේ භාවිතා කරන්නා හා භාවිතා කරන්නේ කුමන අරමුණක් සඳහාද යන
කාරණා මතය. ඒ අනුව සමාජ මාධ්‍ය බලපෑම කෙරෙහි විමසා බැලීමද වැදගත් ය.
සමාජ මාධ්‍ය අතර වඩාත් ප්‍රචලිත මාධ්‍යක් ලෙස Facebook හඳුනාගත හැකිය. එනම්, සමාජ මාධ්‍ය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ
සිහියට නැගෙනුයේ Facebook යන්නයි. කෙසේ වෙතත් දැන ගියොත්
කතරගම නොදැන ගියොත් අතරමග යනුවෙන් කියමනක් පවතී. Facebook පිළිබඳව ද සඳහන් කරන්නට ඇත්තේ ද මේ කතාවම ය. මේ වන විට ලොව ජනප්‍රියම
සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත්ව ඇත්තේ ද Facebook ය. ශ්‍රී
ලංකාව ආශ්‍රයෙන් සලකා බැලීමේ දී මෙරට Facebook ගිණුමක්
නොමැති පුද්ගලයෙකු සොයාගන්නවා යනු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නාක් බඳු අසීරු
කටයුත්තකි.
ඒ තරමට Facebook
උන්මාදය අද සමාජය ගිලගෙන හමාරය. නවීන තාක්ෂණයේ අපූරු සොයා
ගැනීමක් ලෙස සැලකිය හැකි Facebook සමාජ ජාල තුළ මුදල්
වංචා කිරීම්, තර්ජනය කිරීම් මෙන්ම පවුල් අවුල් වන අවස්ථාද අඩු වැඩි වශයෙන් දැක
ගන්නට ඇත. බොහෝ රටවල Facebook තහනම් කිරීම් හෝ අවහිර
කිරීම් පවා ක්‍රියාත්මක වන්නේ එබැවින් ය. පාකිස්ථානය, චීනය, උතුරු කොරියාව, කියුබාව,
වියට්නාමය, ඉරානය, බංගලාදේශය, වැනි රටවල් ඒ අතර වේ.
කෙසේ නමුත් ලෝකයේ දියුණු රටවල් එම ක්‍රමයෙන් වෙනස්ව යමින් සමාජ මාධ්‍යන්හි
ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයට සංවිධානාත්මක ක්‍රමවේද භාවිතා කරයි. සමාජ මාධ්‍යවල
සිදුවන සමාජ ආචාර ධර්මවලට පටහැනි පල කිරීම් කඩිනමින් හඳුනාගෙන ඒවාට එරෙහිව නීතිය
ක්‍රියාත්මක කරනු ලබයි. එබැවින් දියුණු රටවල් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ තම ප්‍රගමනයට
මිස අයහපතට නොවේ.
කෙසේ වෙතත් මේ වන විට Facebook ඉතා ජනප්‍රිය සේම එයින් කෙරෙන බලපෑම සලකා බැලීමේදී ධනාත්මක පැතිකඩට
වඩා සෘණාත්මක පැතිකඩ ඉහළ ගොස් ඇති ආකාරයක් දිස්වේ. ඒ අනුව හරි හැටි අවබෝධයකින්
යුතුව එය භාවිතා කිරීමට පරිශීලකයන් වග බලා ගත යුතු ය. ඒ අනුව සමාජ මාධ්‍ය බලපෑම
පිළිබඳ විමසා බැලීමේදී සමාජ මාධ්‍ය අතර ඉතා ප්‍රචලිත Facebook කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. ඒ පිළිබඳ විවරණයක් මේ හරහා සිදු
කරනු ලබයි.
Facebook හි යහපත් පැතිකඩ
·
Facebook සමාජ මාධ්‍ය ව්‍යාපාර සඳහා මෙවලමකි.
මහා පරිමාණ ව්‍යාපාරයක සිට ස්වයං
රැකියාවක් දක්වා වූ ඕනෑම ව්‍යාපාරයකට අද වන විට සමාජ මාධ්‍ය නැතිවම බැරි මෙවලමක්
බවට පත්වී තිබේ. සමාජ මාධ්‍ය අතර ද Facebook මෙහිදී අතිශය වැදගත්ය. ඒ අනුව වර්තමානයේ දී බොහෝ සාම්ප්‍රදායික ක්‍රම
වලට ව්‍යාපාර කටයුතු සිදුකළ ව්‍යාපාර පවා සමාජ මාධ්‍ය ව්‍යාපාරික මෙවලමක් වශයෙන්
භාවිතා කරන තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාර මුදල් ගෙවා සමාජ
මාධ්‍ය තුළ තම වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදු
කරන අතර සුළු ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබන පුද්ගලයන් නොමිලේ තම ව්‍යාපාරට අවශ්‍ය ප්‍රචාරණය
Facebook වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගැනීම සිදු කරයි.
උදා:-ස්වයං රැකියාවක් වශයෙන් රූපලාවන්‍ය කටයුතුවල
නියලෙන පුද්ගලයන් නොමිලේ Facebook වැනි සමාජ මාධ්‍ය අවකාශය සිය
ප්‍රචාරණයට යොදාගනු ලබයි.
·
පුද්ගල
සබඳතා පුළුල් කරයි.
සමාජ
මාධ්‍ය භාවිතය තුළින් පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා වඩාත් පුළුල් වන බව බොහෝ
දෙනෙක් විසින් විශ්වාස කරන මෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමේදී යොදා ගනු
ලබන ජනප්‍රියතම කතිකාවයි. එනම් Facebook හරහා බොහෝ පිරිස් තම මිතුරන් බවට පත් කර ගැනීමට පුද්ගලයන් කටයුතු
කරයි. ඒ තුළ ලොව පුරා පැතිර සිටින බොහෝ පිරිස් සමග සබඳතා පැවැත්විමට ඉඩහසර විවර
වීමක් සිදුවේ.
·
අර්බුදකාරී
අවස්ථාවලදී සන්නිවේදන මෙවලමක් ලෙස ක්‍රියා කරයි.
Facebook වැනි සමාජ මාධ්‍ය ස්වභාවික
විපත් වැනි අර්බුදකාරී අවස්ථාවලදී ආපදාවලට ලක් වූ පිරිස් වලට ආධාර කිරීම සඳහා
පිරිස් රැස් කිරීමට විශාල දායකත්වයක් සපයන ලදී.
උදා:-2016 වසරේදී මෙරටට බලපෑ ගංවතුර තත්වය හමුවේ ඒ සඳහා මැදිහත් වී
විපතට පත්වූවන්ට ආධාර රැස් කර රැගෙන යාමට ලේඛිකාවක් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරවන්නියක් වන නදී නමැත්තිය විසින් සමාජ මාධ්‍ය තුළ
පලකළ ඉල්ලීම්වලට බොහෝ පිරිසකගේ ප්‍රතිචාර ලැබී තිබුණි. ඒ ඔස්සේ මුලින්ම Facebook සමාජ ජාලය ඔස්සේ හඳුනාගත්
මිතුරන් පිරිසක් සමග සංවිධානය වී විපතට පත්ව සිටි පිරිස් වෙත බත් පාර්සල් රැගෙන
යාමට ඇය ඇතුළු ඇගේ මිතුරු කැල කටයුතු කර තිබුණි.
· දිවි
නසා ගැනීම වැළැක්වීමට Facebook උපක්‍රමයකි.
දිවි නසා ගැනිම අද වන විට විශාල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ තත්වය
මගහරවා ගැනීමට සමාජ මාධ්‍ය විශාල පිටිවහලක් සපයනු ලබයි. එනම් බොහෝ විට පුද්ගලයන්ට
තිබෙන ප්‍රශ්න ගැටලු වලට ඇහුම්කන් දීමට කෙනෙකු නොමැති වීම මත පුද්ගලයන් මානසික
පීඩනයට ලක් වීමත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සියදිවි නසා ගැනීමත්ය. නමුත් සමාජ මාධ්‍ය හරහා නව මිතුරන් ගොඩනගා ගැනීම
තුළින් අදහස් හුවමාරු කර ගැනීමට ඉඩහසර සැලසේ. එය මෙවැනි අහිතකර තත්ත්ව මගහරවා ගැනිමට
වැදගත්ය. කෙසේ වෙතත් තමන්ගේ ගැටලු සමාජ
මාධ්‍ය හරහා මුණගැහෙන මිතුරන් සමග බෙදා හදා ගැනීම කොතෙක් දුරට යහපත් ද යන්න ගැටලු
සහගතය. ඒ කෙසේ වෙතත් Facebook හරහා දිවි නසා ගැනීම්
වැළැක්වීමට පියවර ගැනීමක් හඳුනාගත හැකිය. සියදිවි හානි කර ගැනීමේ අවදානමක් ඇතැයි
විශ්වාස කෙරෙන ගිණුම් හිමියන් හඳුනා ගැනීමට Facebook
සමාගම නව තාක්ෂණික පද්ධතියක්(artificial intelligence)
උපයෝගී කර ගැනීමේ වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.
යමෙක් සිය Facebook ගිණුමේ කරන ප්‍රකාශ මෙන්ම ඊට
ලැබෙන ප්‍රතිචාර හා අදහස් දැක්වීම් විශේෂ ගණිතමය රීති පද්ධතියක් හරහා පරීක්ෂා
කිරීම තුළින් සිය දිවි නසා ගැනිමට ඉඩ තිබෙන පුද්ගලයන් කල් ඇතිව හඳුනා ගැනිමට
උත්සාහ කිරීම Facebook සමාගමේ අරමුණය. මෙම ව්‍යාපෘතිය
හරහා මානුෂීය විමර්ෂන කණ්ඩායමක් විසින් සියදිවි නසා ගැනීමේ අවදානමක් පවතින ගිණුම්
හිමියන් හඳුනාගනු ලැබීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධ කර ගනිමින් එම තත්වයෙන් මිදිමට
අවශ්‍ය සහය ලබා දීමට Facebook සමාගම බලාපොරොත්තු වේ. මෙය
මේ වන විට පරීක්ෂා කර තිබෙන්නේ ඇමරිකාව විසිනි.
·
අධ්‍යාපනයට
මහඟු දායකත්වයක් සපයයි.
Facebook හි අයහපත් බලපෑම විශාල වුවද එහි යහපත් පැතිකඩක් ද පවතී. එකී යහපත්
පැතිකඩ ඔස්සේ හඳුනාගත හැකි ඉතා වැදගත් කරුණක් ලෙස අධ්‍යාපනයට දක්වන දායකත්වය
පෙන්වා දිය හැකිය. ළමයින්ට අවශ්‍ය විෂයානුබද්ධ තොරතුරු පමණක් නොව අත්කම් නිර්මාණ,
ආහාර පාන සැකසීම්, මැහුම් ගෙතුම්, රූපලාවන්‍ය මෙන්ම තරඟ විභාග වලට අවශ්‍ය දැනුම
ආදී බොහොමයක් පිළිබඳ දැනුම ලබා ගැනීමට Facebook ඉතා
වැදගත් ය.
·
තනිකම
පිළිබඳ හැඟීම අවම කරයි.
Facebook හරහා තනිකම වැනි හැඟීම් පුද්ගලයා තුළින් තුරන් කිරීමක් සිදු කරයි. අද
වන විට සමාජයේ පවතින කාර්යබහුලත්වයක් සමග පුද්ගලයන්ට කතා බහ කිරීමට, අනිත් අයට
ඇහුම්කන් දීමට තිබෙන කාලය සීමිතය. එහිදී ඇතැමෙක්ට තමා තනි වී ඇති බවක් වැනි හැඟීම්
ඇති වීම සාමාන්‍යය යි. නමුත් එලෙස අදහස් හුවමාරු කර ගැනීමට, දුක බෙදා ගැනීමට
කෙනෙකු නොමැති වීමද මානසික පීඩනයක් ඇති කරන්නකි. එබැවින් මෙවැනි විටක Facebook වැනි සමාජ
මාධ්‍ය පුද්ගලයාගේ එකී තනිකම නැති කිරීමට මහඟු දායකත්වයකි. කෙසේ වෙතත් Facebook වැනි සමාජ මාධ්‍ය හරහා පුද්ගලයා තනිකම මකා ගැනීමට යාම කෙතෙක් දුරට
ධනාත්මක ද යන්න ගැටළු සහගතය.
Facebook හි අයහපත් පැතිකඩ
·
සියදිවි
නසා ගැනීමට මග විවර කිරීම.
ඇතැම් Facebook සබඳතා සිය දිවි නසා ගැනීමක් දක්වා වර්ධනය වී ඇති අයුරු හඳුනාගත හැකිය.
උදා:-Facebook ආශ්‍රිත හටගත් අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවක් සියදිවි හානි කර ගත්තාය. ඒ ගෙල වැළලා
ගැනීමෙන්ය. මෙය Facebook ආශ්‍රිතව ලංකාව තුළ සිදු වූ පළමු
සියදිවි නසා ගැනීම බවද බලධාරීහු පවසති.
Facebook යන්න එක්තරා අයුරකින් සියදිවි
නසා ගන්නා පිරිස ඉන් ගලවා ගැනීමට උපක්‍රමයක් බව පෙර සඳහන් කරන ලදී. කෙසේ නමුත්
මෙකී Facebook යන්න තවත් පිරිසකට සියදිවි නසා ගැනීමට මග
පාදන්නක් ලෙසද හඳුනාගත හැකිය. ඒ බව ඉහත උදාහරණයෙන් වඩාත් හොඳින් ගම්‍ය වේ.
·
පෞද්ගලිකත්වයට
හානි ඇති කරයි.
Facebook හි පවතින තවත් අහිතකර පැතිකඩක් ලෙස පෞද්ගලිකත්වයට හානි ඇති කිරීම
පෙන්වා දිය හැකිය. Facebook සම්බන්ධයෙන් සමාජයේ ඇති කතා
බහ එන්න එන්නම නරක් වෙමින් පවතී. Facebook සම්බන්ධව අපරාධ
රැල්ලක් ක්‍රියාත්මක වන බව විවිධ මාධ්‍ය හරහා පසුගිය මාස කිහිපය තුළ විශාල කතාබහක්
ඇති විය. Facebook අවභාවිතය පිළිබඳ 2016 වසරේ පමණක්
පැමිණිලි 2200 ක් පමණ ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වේ. මෙම තොරතුරු අතර ප්‍රමුඛතාවයේ
පැවති පැමිණිලි වූයේ තම මුහුණ යොදා ව්‍යාජ ගිණුම් භාවිතා කිරීම, Facebook හි තමා පල කරන ලද ඡායාරූප ගෙන ඒවා විකෘති කර අසභ්‍ය ඡායාරූප සමග එකතු
කර සමාජ ජාල වෙබ් අඩවිවල පල කිරීම ආදිය යි. විශේෂ සිදුවීම නම් මෙම පැමිණිලිවලින්
60% ක්ම සිදු කර ඇත්තේ කාන්තාවන් වීමයි. ඒ අනුව Facebook භාවිතයේ දී
පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට විශාල වශයෙන් හානි ඇති විය හැකිය.
·
සොරකම්වලට
Facebook රුකුල් දෙයි.
Facebook නිසා සොරකම්වලට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළයි. බොහෝ දෙනෙක් තමා සිටින
ස්ථානය Status යටතේ යාවත්කාලීන කරීමට පුරුදු වී සිටියි.
මෙයින් ප්‍රයෝජන ගන්නා සොරුන් එම පුද්ගලයාගේ නිවස කොල්ල කනු ඇත. ලොව පුරා
මංකොල්ලකරුවන්ගෙන් 80% ක්ම Facebook Status පරීක්ෂා කරන බව සොයාගෙන තිබේ.
තවද
Facebook හරහා වන මූල්‍යමය වංචාවන්ද
ඉතා විශාලය. එනම්, Online Shopping ආදිය ප්‍රධාන වශයෙන්ම Facebook හරහා සිදු කරයි. එහිදී ව්‍යාජ ගිණුම් සකසා ගෙන විවිධ පුද්ගලයන්ගේ
බැංකු ගිණුම්වලින් මුදල් වංචා කිරීම් බහුලව හඳුනාගත හැකිය
·
සෞඛ්‍ය
ප්‍රශ්න ඇති කරයි.
වර්තමානයේ අන්තර්ජාලයට ප්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍ය නොවේ. බොහෝ
නවීන දුරකථනවල අන්තර්ජාල ප්‍රවේශය පහසු වී ඇත. එනිසාම දවස පුරාම නිරනතරයෙන්
පුද්ගලයින් Facebook වැනි සමාජ මාධ්‍යවල සැරිසරන ආකාරයක්
හඳුනාගත හැකිය. මෙය පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වයට විශාල බලපෑමකි. විශේෂයෙන් අක්ෂි ආබාධ
ආදියට ද මෙය හේතු වී තිබේ. එපමණක්ද නොව මානසික ගැටලු ඇති කිරීමට ද මෙය හේතු සාධක
වී තිබේ. Facebook වලට ඇබ්බැහි වූවන් “Facebook Depression“ නමැති මානසික රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව ආචාර්ය
ග්වෙන්. ඔ. කීප්ෆෙ (Gwenn O‘ Keeffe) පෙන්වා දී ඇත.
විශේෂයෙන් ම නව යෞවන වයසේ පසු වන්නන් සහ කුඩා දරුවන් කෙරෙහි Facebook වැනි සමාජ මාධ්‍ය මගින් වන නිශේධනීය බලපෑම ඉතා ඉහළය. තමන් නොදන්නා අය
සිය Facebook මිතුරන් බවට තෝරා ගැනීම හරහා සිය වයසට හා
අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසුරට කුඩා දරුවන් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ
මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටු කර ගැනීමට Facebook වැනි සමාජ ජාල
ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන්
පහසුවෙන් පොළඹවා ගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තා නිතර දක්නට ලැබේ.
·
අධ්‍යාපනයට
බාධා ඇති කරයි.
Facebook වැනි සමාජ මාධ්‍ය අධ්‍යාපනය ලබන ළමුන්ට මෙන්ම බාල තරුණ හා මහළු කොයි
කාටත් විවිධ මට්ටමේ දැනුම් ලබාදෙන පුස්තකාලයක් බඳුය. නමුත් එකී මාධ්‍යම තවත්
ආකාරයකින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නක් ලෙසද හඳුනාගත හැකිය. එනම් Facebook වැනි සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම මත දරුවන් දවස පුරා එහිම කාලය ගත කරන
අතර පොතේ පතේ වැඩවලින් ඈත්වීමක් සිදුවේ.
·
Facebook වැනි සමාජ මාධ්‍ය කෙනෙකුට හිංසා කිරීමට බලපත්‍රයක් ලබාදීමක් වැනිය.
Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදුවන තවත් අහිතකර සමාජ බලපෑමක් ලෙස
සයිබර් අවකාශගත තර්ජන හෝ හිරිහැර පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්වය වන්නේ මේ
හරහා යම් කෙනෙකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට
පහසු දෙයක් බවට පත් වී තිබීමයි.
· පුද්ගලයාගේ
සැබෑ ලෝකයේ සබඳතා අඩු වීම හා සැබෑ ලෝකයෙන් පුද්ගලයා හුදකලා වීම.
එනම්, පුද්ගලයන් Facebook වැනි සමාජ මාධ්‍යවලට
ඇබ්බැහි වීම මත සැබෑ ලෝකයෙන් ඔබ්බට ගොස් නැතහොත් යථාර්ථයෙන් ඈත් වූ මවා ගත් ලොවක
සිටින ආකාරයක් හඳුනාගත හැකිය. ඒ හරහා ගොඩනැගෙනුයේ සැබෑ සබඳතා නොවේ. ඒ හරහා සැබෑ
ලෝකය තුළ හුදකලා තත්වයට පත්වීමක් සිදුවේ. තවද එමගින් එකිනෙකා අතර පවතින සමීප සබඳතා
ගිලිහී යයි. එනම් Facebook වැනි සමාජ මාධ්‍ය හරහා අද වන
විට පවුලක මව, පියා හා දරුවන් එකම නිවසක සිටියද කිසිඳු සමීප සබඳතාවක් නැති තත්වයට
පත් කර තිබේ. එනම් මුල් කාලීනව පැවති ලෙංගතු, සමීප සබඳතා Facebook වැනි සමාජ මාධ්‍ය හරහා කෘත්‍රිම සබඳතා බවට පත් කර හමාරය.
මේ අයුරින් සමාජ මාධ්‍ය අතර ඉතාමත් ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Facebook හි බලපෑම පිළිබඳ විග්‍රහ කළ හැකිය. මීට අමතරව Facebook හි යහපත් අයහපත් බලපෑම සම්බන්ධව විමසා බැලීමේදී තවත් බොහෝ කරුණු ගෙන
හැර දැක්විය හැකිය. කෙසේ නමුත් මෙකී කරුණු කාරණා හරහා Facebook වැනි සමාජ
මාධ්‍ය මගින් සමාජයට වන බලපෑම තුළ යහපත් බලපෑමට වඩා අයහපත් බලපෑම ඉහළ බව හඳුනාගත
හැකි විය. නමුත් එය නරකයි, අයහපත් ලෙස බැහැර කරනවාට වඩා එහි අයහපත් පැතිකඩ අවම කර
ගනිමින් යහපත් පැතිකඩ වර්ධනය කර ගැනීමට වගබලා ගත යුතුය. එනම් Facebook වැනි සමාජ
මාධ්‍ය භාවිතයේ දී ඒ පිළිබඳ හරි හැටි අවබෝධයකින් යුතුව එය භාවිතා කිරීමට
පරිශීලකයන් වගබලා ගත යුතුය.
ආශ්‍රිත ග්‍රන්ථ
- https://www.bbc.com/sinhala/world-49347813
- https://www.dinamina.lk/2019/06/20/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/75527/%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA
- https://www.bbc.com/sinhala/world-39977629
- https://divaina.com/daily/index.php/visheshanga3/8330-2018-03-04-13-02-105
- https://iranga.net/?p=1062



Comments
Post a Comment